නිවෙසේ ඉවත දමන ඉඳුල්වලින් ජීව වායුව නිෂ්පාදනය කරගෙන වියදමකින් තොරව දිනපතා ඉහුම් පිහුම් කරගත හැකි ක්‍රමයක් ඇල්පිටිය පිටුවල දිගාලෙන ආරණ්‍ය සේනාසනාධිපති වතුරුවල මූලස්ථාන පිරිවෙනේ පරිවේණාධිපති ත්‍රිපිටකවේදී රාජකීය පණ්ඩිත හැඩිගල්ලේ විජිත ධම්ම හිමියන් විසින් සොයාගෙන ක්‍රියාත්මක කර තිබේ. එම ආරණ්‍ය සේනාසනයේ සේනාසනාධිපති විජිත ධම්ම හිමියන් සමඟ පාලක විහාරාධිපති කොලොන්නාවේ අනුරුද්ධ හිමියන් ඇතුළු සාමාණේර භික්ෂුන් වහන්සේ විසිනමක් මෙහි වැඩ වාසය කරති. උන්වහන්සේලා දිනපතා උදෑසන හා දහවල දානය වැලඳීමෙන් පසු ඉතිරිවන ඉඳුල් ඉවතට දැමීම නිසා පාරිසරික ගැටලු ගණනාවකට මුහුණ දීමට සිදුවී තිබිණි.
මේ පිළිබඳව සිතා බැලූ විජිත ධම්ම හිමියෝ පෙදරේරුවකුගේද සහාය ලබාගෙන දිනපතා ඉවත දමන ඉඳුල් ප්‍රයෝජනයට ගෙන ජීව වායු ඒකකයක් ඉදිකර තිබේ. හීල සහ දහවල දානය වැලඳීමෙන් පසු ස්වාමින් වහන්සේලාගේ පාත්තරවල ඉතුරුවන ඉඳුල් වෙනම සින්ක් එකකට දමා පසුව එය සේදී යෑමට සැලැස්වීමෙන් පොළොව යට පිහිටි ලොකු ටැංකියකට එකතු වෙයි. එහිදී ක්‍ෂ්ද්‍ර ජීවීන්ද එක්වීමෙන් මෙම ආහාර ද්‍රව්‍ය මඟින් ජීව වායුව
නිෂ්පාදනය කිරීම පහසු කිරීම සඳහා මුලින්ම එම ටැංකිය පතුලට ගව ගොමද එකතු කර ඇත. ඉන්පසු එම ටැංකිය මුළුමනින්ම හොඳින් වසා ඇති අතර එහි මතුපිට මුදුනින් ගෙන ආ බටයක් මඟින් මුළුතැන්ගෙට ජීව වායුව ගලා ඒමට සලස්වා ඇත. එම ටැංකියේ පවතින ජීව වායු ප්‍රමාණය දැක්වෙන මීටරයක්ද බටයට සම්බන්ධ කර ඇත.
ඒ මඟින් බිම්ගත ටැංකියේ පවතින ජීව වායු ප්‍රමාණය මැනගත හැකිය. මුළුතැන්ගෙයට බටයක් මාර්ගයෙන් ගලා එන ජීවවායුවලින් දැල්වෙන ළිපක් එහි තබා ඇති අතර ජීව වායුව ළිපට ගලා එනසේ අගුල විවෘත කර ළිපට ගින්දර තැබීම මඟින් ළිප දල්වා ගත හැකිය.
ඇල්පිටිය – ගයාන් ගුණසේකර