කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ මාවනැල්ල පොලිස් බල ප්‍රදේශයේ අන්වාරම කතෝලික දේවස්ථානය ඉදිරිපිට මාර්ගයේ වංගු සහිත ස්ථානයක ඊයේ (25දා) සිදු වූ බිහිසුණු බස් රථ අනතුරකින් මොළගොඩ මංගලම ප්‍රදේශයේ 64 හැවිරිදි විශ්‍රාමික ගුරුවරියක් මියගොස් ඇති අතර 32 දෙනෙක් රෝහල් ගත කර ඇති බවත් එයින් සිවු දෙනෙක් බරපතළ තුවාල ලබා ඇති බවත් මාවනැල්ල පොලිසිය පවසයි.
මියගිය විශ්‍රාමික පාසල් ගුරුවරිය විශ්‍රාමික පොලිස් නිලධාරියකුගේ බිරිය බවත් පොලිසිය වැඩිදුරටත් පැවැසීය. සියලුම තුවාලකරුවන් මාවනැල්ල මූලික රෝහල වෙත ඇතුළත් කර ඇත. පෙරවරු 11.20ට පමණ මෙම අනතුර සිදුවී ඇත්තේ කෑගල්ල දෙස සිට පැමිණි පෞද්ගලික බස් රථය අනතුර සිදු වූ ස්ථානයේ නවතා තිබියදී මාවනැල්ල දෙස සිට පැමිණි ලංගම බස් රථය අපරික්ෂාකාරී ලෙස ඉස්සර කිරීමට යෑමේදී බව පොලිසිය කියයි.
එම ස්ථානය අවදානම් සහිත වංගුවක් වන අතර මෙම අනතුර නිසා බස් රථ දෙකටම දැඩි හානි සිදුවී තිබිණි. ලංගම බස් රථය මාවනැල්ල ලංගම ඩිපෝවට අයත් බස් රථයකි.
මේ වන විටත් බස් රථ දෙකෙහිම රියැදුරන් අත්අඩංගුවට ගෙන ඇති අතර ලංගම බස් රථ රියැදුරුගේ හිසේ සුළු තුවාලයක් වී තිබේ.
මාවනැල්ල පොලිස් බල ප්‍රදේශය රිය අනතුරු බහුල කලාපයක් ලෙස කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ උතුවන්කන්ද මාවනැල්ල නගරය දක්වා කොටස හඳුන්වන අතර මීට පෙරද බස් රථ අනතුරු ගණනාවක් සිදුවී ජීවිත හානි පවා සිදුවී ඇති කොටසකි. වාහනවලට ප්‍රවේශමෙන් ගමන් කරන ලෙසත් අනතුරු බහුල කලාපයක් වන බවත් ප්‍රදර්ශන පුවරු ද එහි ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් මාවනැල්ල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලසන්ත කළුආරච්චි මහතා සහ මාවනැල්ල පොලිසියේ රථ වාහන ස්ථානාධිපති එම්.පී.ඒ.එම්. රත්නායක, රූපසිංහ (47544), චන්ද්‍රසිරි (85012) යන නිලධාරීන් අනතුර සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.
මාවනැල්ල – කේ.වී. බණ්ඩාර