Home Local News Room : වයස 12ට අඩු දරුවන් මහණ නොකළ යුතුයි

News Room : වයස 12ට අඩු දරුවන් මහණ නොකළ යුතුයි

0
0

විහාරස්ථානවල පැවිදි කරන සාමණේර හිමිවරුන්ගේ හිමිකම් සුරක්ෂිත කිරීම සඳහා ඒ අදාළ නිකායවල මූලස්ථාන වහාම මැදිහත් විය යුතු යැයි  කොළඹ නව තොටමුණ සහිත බස්නාහිර පළාතේ ප්‍රධාන සංඝනායක රුහුණ විශ්වවිද්‍යාලයේ කුලපති ආචාර්ය අකුරැටියේ නන්ද නාහිමියෝ ‘මව්බිම’ට පැවැසූහ.

කුල දරුවන් සසුන්ගත කිරීමේදී ඉතාම ළාබාල වයසේ දරුවන් සසුන්ගත නොකර අඩු තරමේ වයස අවුරුදු ‍ෙදාළහ ඉක්ම වූ දරුවන් පැවිදි දිවියට ඇතුළත් කළ යුතු යැයිද නාහිමියෝ අවධාරණය කළහ.

යම් දරුවකු ගුරු හාමුදුරුනමක් යටතේ පැවිදි දිවියට ඇතුළත් කරන්නේ වැඩිහිටි භික්ෂුන් වහන්සේ සාමණේර හිමියන් රැකබලා ගනු ඇතැයි යන විශ්වාසයෙන් යුතුව බවද උන්වහන්සේ පැවැසූහ.

කුඩා දරුවෙක් මහණ කර ගත්තේ නම් මාතෘ පීතෘ ස්නේහයෙන් වැඩිහිටි හිමියන් ඒ දරුවා රැක බලාගත යුතු බව එය වැඩිහිටි භික්ෂුන් වහන්සේගේ යුතුකමක් සහ  වගකීමක් බවත් නාහිමියෝ අවධාරණය කළහ.

බුදුන් වහන්සේගේ සමයෙහි පවා මෙවන් දුශ්ශීල හිමිවරු සිටි බවත් උන්වහන්සේ කීහ.

භික්ෂුන් වහන්සේගේ විනය ආරක්ෂා කර ගැනීමේ අරමුණෙන් විවිධ සිද්ධි අරබයා නොයෙක් අවස්ථාවල විනය සිල්පද පැනවුණු බවද නාහිමියෝ සඳහන් කළහ.

අදටත් ශාසනයෙහි විනය කඩ කරන දුශ්ශීල භික්ෂුන් වහන්සේ සිටින බවද උන්වහන්සේ සිදු කරන විනය විරෝධී ක්‍රියා නියාමනය වීමක් සිදු නොවන බවද නන්ද නාහිමියෝ පැවැසූහ.

ඒවා නිකාය මූලස්ථාන හරහා නියාමනය වීමක් සිදුවිය යුතු වුවත් එවන් කාර්යයක් නිකාය මූලස්ථානවලින් සිදු නොවන බවට උන්වහන්සේ චෝදනා කළහ.

එවන් නියාමනය වීමක් සිදු නොවන නිසා නීතියේ පිහිට පැතීමට සිදුව ඇතැයිද උන්වහන්සේ පෙන්වා දුන්හ.

සාමණේර හිමිවරුන්ටද ළමා අයිතිවාසිකම් හිමි බව නාහිමියෝ කීහ.

විනය පොතේ උගන්වා ඇති අයුරින් වැඩිහිටි භික්ෂුන් වහන්සේ විනය ආරක්ෂා කරනවා නම් මෙවන් සිදුවීම් වාර්තා නොවන බවද උන්වහන්සේ තවදුරටත් අවධාරණය කළහ.

සවනි ශේශාධි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here