Home Local News Room : වතුර උගුරක් නැතිවෙයි කියලා බයට කිසිම දරුවෙක් හදන්න එපා

News Room : වතුර උගුරක් නැතිවෙයි කියලා බයට කිසිම දරුවෙක් හදන්න එපා

0
0

ලංකාවේ නව විවාහක යුවළකගේ ඊළඟ පියවර මොකක්ද?

උසස් අධ්‍යාපන කටයුතුද?

තමන්ගේම නව නිවෙසක්ද?

වාහනයක්? නැත්තම් තමන්ට තියෙන වාහනේට වඩා හොඳ වාහනයක්ද?

ජීවිතය ඉදිරියට ගෙනයෑමට අවශ්‍ය නව ආයෝජන අවස්ථාවක්ද?

බබෙක්ද?

මුලින් කියපු කරුණු 6ටම හරියන්න අවසාන කරුණ උඩින්ම තියෙනවා. අතීතයේ විවාහක යුවළකට සාපේක්ෂව වර්තමාන තරුණ තරුණියන්ගේ සිහින වෙනස්. අපේ අම්මලාගේ, තාත්තලාගේ පරම්පරාව, ඊටත් එහාට ගියොත් අපේ ආච්චිලාගේ, සීයලාගේ පරම්පරාව ගත්තොත්  විවාහයෙන් පසු ඔවුන්ගේ පළමුවැනි අභිමතාර්ථය වෙලා තියෙන්නෙ දරුවෙක්. අවුරුද්දක්, දෙකක්, තුනක් යද්දී දරුවෙක් පවුලකට එකතු වුණේ නැත්තම් ඒක මහා මදිකමක්, සෑහෙන්න ලොකු ගැටලුවක් වුණා. දැන් කාලේ අපිට මේවා අහද්දි හිනා ගියාට මේ තමයි තිත්ත ඇත්ත.

ඔන්න අපේ අත්තම්මලගේ, සීයලාගේ කාලවල, මුත්තලාගේ කාලවල බබෙක් හම්බෙන්න එද්දී මෙන්න මෙහෙමලු දැනුම් දෙන්නෙ.

පළමුවැනි සීන් එක තමයි නැන්දම්මා, ලේලි සීන් එක.

කෙල්ල හොරෙන් නැන්දම්මට වෙලා තියෙන දේ කුටු කුටු ගාලා කියනවා. ඔන්න හවසට කොල්ලා හේනට හරි කුඹුරට හරි ගිහින් ගෙදර එනවා. කෙල්ල තේ වක්කරන්න කේතලේ ළිපේ තියනවා.

දෙවැනි සීන් එක නැන්දම්මා සහ පුතා අතර සීන් එක.

මයෙ පුතේ !! අන්න මයෙ දූ කියනවා ඊළඟ කන්නෙ තව වැඩිපුර වී වපුරන්න වෙයි කියලා. කොල්ලාගේ අම්මා ආඩම්බරකාර හිනාවකින් පුතාට මෙහෙම කියනවලු. එතකොට කොල්ලා තේරුම් ගන්නවාලු ඔන්න ළමයෙක් ඉපදෙන්න එනවා කියලා. ඒ වෙලාවට කෙල්ල චීත්තෙ කොනක් උඩට ඇදලා හප හප ඇඹරෙනවලු.

වර්තමානයේ මෙච්චර සරලවම දරුවෙක් හැදීම ගැන හිතන්න පුළුවන්ද?

ඇත්තටම විවාහයේ අවසාන ඵලය  වෙන්න ඕනෙ දරුවෙක්ද?

මෙච්චරටම බබ්බු ඕනෙ කියන්න හේතු මොනවාද?

අනාගත ආයෝජනයක් ලෙස

මේ කරුණ මතුපිටින් සරල වුණාට ඉතාම ඛේදජනක තත්ත්වයක් ලෙස ගන්න පුළුවන්. බොහෝ පුද්ගලයන් සිතන්නේ දරුවෙක් සෑදිය යුත්තේ ඉදිරි කාලයකදී තමන්ට හයියක් වීමට ආධාරකයක් හෝ ආයෝජනයක් ලෙසයි. “වයසට ගියාම වතුර උගුරක් දෙන්න දරුවෙක්” ඉන්න ඕනෙ වගේ කතන්දර කියලා අනිත් අයගේ මොළේ විකාර කරවන්නේ මෙන්න මේ වගේ පුද්ගලයන්. වතුර උගුරක් දෙන්න දරුවෙක් හදනවා නම් ස්ථායි ජල නළ පද්ධතියකට මුදල් ආයෝජනය කිරීම ඊට වඩා ඵලදායි වෙයි නේද?

කරුණාකර මේ කරුණ වරදවා වටහා ගන්න එපා. අපේ ආදරණීය මවුපියන් රැක බලා ගැනීම අපේ පරම යුතුකමක්. ඔවුන් ඉතාම සෙනෙහසින්, කිසිදු ප්‍රතිලාභයක් බලාපොරොත්තු නොවී මේ දක්වා අපව දැඩි කිරීම පිළිබඳව අනේක වාරයක් ඔවුන්ට ස්තූතිවන්ත විය යුතුයි.

ඉහත කරුණ අදාළ වන්නේ දරුවෙක් සෑදිය යුත්තේ ආයෝජනයක් ලෙසටයි යන වැරදි මතය නව විවාහක යුවළකට සහ සමාජයට ලබා දෙන විකාරරූපි සිතුවිලි ඇත්තන්ට පමණි.

දරු ඵල අහිමි අය නොවන බව සමාජයට පෙන්වීමට.

මෙයට සමාජය භාවිත කරන වචනය ඉතා පිළිකුලෙන් යුතුව ශබ්දකෝෂයෙන් අයින් කළ යුත්තක්. විවාහක යුවළක් දරුවන් සෑදීම පමා කරන්නේ හෝ දරුවෙක් නොහදා සිටින්නේ ඔවුනොවුන්ගේ කැමැත්ත මතයි. සමහර විට සැබැවින්ම දරු ඵල නොමැතිවන්නන් සිටින්න පුළුවන්. නමුත් ඔවුන්ට දරුවන් යන කරුණ ජීවිතයේ එක් ප්‍රවේශයක් පමණයි. ඔවුන් සතුටින් සිය ජීවිතය ගත කරනවා නම් සැබැවින්ම අවශ්‍ය එපමණයි නේද?

බොහෝ තරුණ යුවළවල් දරුවන් හදන්නේ තමන්ට දරු ඵල අහිමි නොවන්නන් බවට සමාජයට ඒත්තු ගැන්වීමට. පළමු දරුවාගෙන් පසු දෙවැනි දරුවා හදන්නේ එම දරුවාගේ තනිකම නැති කිරීමට. අවසානයේ සිදු වී ඇත්තේ සමාජය සහ පවුලේ සාමාජිකයන් සතුටු කරවීම පමණයි.

විවාහයේ හරය රඳා පවතින්නේ දරුවන් මත යැයි සිතීම.

විවාහයක දරුවන් සිටිය යුතුම නම්, ආදරය කර එක්වූ යුවළකගේ බැඳීම මුළාවක් පමණක් වේවි. ඔවුන් විවාහ වන්නේ දරුවෙක් වෙනුවෙන් පමණක් නම් වෙළෙඳසලකින් හාණ්ඩයක් ඇණවුම් කිරීමකින් එය වෙනස් නොවනු ඇත.

මා ඉතා හොඳින් දන්නා ආදරණීය  වැඩිහිටි යුවළක් දරුවන් සෑදුවේ නැහැ. ඔවුන්ගේ අභිමතාර්ථය වූයේ දෙදෙනාගේ උසස් අධ්‍යාපන කටයුතු නිම කර, ලොව වටා සංචාරය කරමින් ජීවිතය විඳීමයි. ඔවුන් අසරණ දරුවන් තිදෙනකුගේ කැපකරු මවුපියන්ද වෙනවා. ඔවුන්ගේ සියලු වියහියදම් මේ දෙදෙනා විසින් දරනවා. දෙදෙනා ඔවුන්ගේ සමහර ගමනාන්තයන් වෙත මෙම දරු තිදෙනාද රැගෙන යනවා. මේ යුවළ හමු වෙන සෑම දිනකම ඔවුන් ඉතා සතුටින් පවසන දෙය මාගේ ජීවිතයේ මාද අදහන දෙයකි.

“ලෝකය සතුටු කරන්න කලින් තමන් සතුටු වෙලා ඉන්න.”

වටේ පිටේ සිටින ගොසිප් ඔස්තාර්ලාගේ හිත සුව පිණිස.

“අපො !! ඒගොල්ලො බබාලා හදන්න කැමැති නෑලු. මොන ජීවිතද අප්පා”

“මොකක්? තව කොහෙට ඉගෙන ගන්නද අනේ. දරුවෙක, මල්ලෙක් හදන් ගෙට වෙලා පිළිවෙළකට ඉන්න මේ ගෑනුන්ට බැරි හැටියක්.”

“මේ බලන්න කෝ ඒයි. අර සමඟි මාවතේ අංක 12 ඉන්න අලුත බැඳපු ජෝඩුවව. අර හරකා නාස් ලණුව දාලා වගේ නහය විදලා ඉන්න කෙල්ල අනේ …. ආං ඒ ඉස්කුරුප්පුව අපේ දුවට කියලා තිබ්බලු එයාලා කවදාවත් බබ්බු හදන්නෙ නෑලු. මේ දවස්වල හම්බ කරන සල්ලිවලින් උන්ට ජීවත් වෙන්නත් මදිලු. එයාලාට ඕනෙ මැරෙනකන් නිදහසේ ජීවිතේ විඳින්නලු. ළමයි බලන්න වෙලාවකුත් නෑලු. බලන්න ඒයි තියෙන කුණුකම. ඒ කෙල්ලට එකේක ජාතියෙ සුකුරුත්තන් ඇ¾දුම් ගන්න සල්ලි තියෙනවා. ළමයෙක් හදන්න තමයි සල්ලි “ඥැහ්” කියන්නෙ.

ඕගොල්ලො තමන්ගේ ජීවිතේ අරමුණු, තීන්දු තීරණ සේරම අමතක කරලා පිනවන්න යන්නෙ මෙන්න මේ වගේ අයව නම් තව පාරක් ඔයාලාට ඔයාලා ගැනම හිතන්න වෙනවා මිත්‍රවරුනේ.

ඔබ දරුවන්ට කැමැති නම් ඔවුන්ව දුකක් නොදී නඩත්තු කිරීමට ඔබට ආර්ථික ශක්තියක් තියෙනවා නම් එය සිදු කරන්න.

නමුත් අහල පහළ ඉන්න උදවියවත්, තමන්ගේ පවුලේ උදවියවත් කියන පළියට ඒ දේට තමන් තවමත් සූදානම් නැත්තම් කිසිසේත්ම පෙලඹෙන්න එපා. දරුවෙක් කියන්නේ ඔබේ කැමැත්තට මේ ලෝකෙට එන අවිහිංසක ජීවියෙක්. ලුණුයි බතුයි කවලා හදන්නවත්, ඒ දරුවා ලවා ඉදිරි කාලෙකදී බැබළෙන්නවත්, තියෙන සේරම අගහිඟකම් අනාගතේදී ඒ අහිංසකයා ලව්වා නැති කර ගන්නවත් වගේ විහිළුකාරී චෙතනා ඔබේ හිතේ තියෙනවා නම් ඔබ කවදාවත් මවුපියන් වෙන්න සුදුස්සෝ නොවෙයි. තමන්ගේ දරුවෙක්ව හොඳින් පෝෂණය කිරීමට, ඔවුන්ගේ අවශ්‍යතා ඉටු කිරීමට, අධ්‍යාපනය හොඳින් ලබා දීමට හැකියාවක් නැත්තම් අහිංසක දරුවෙක්ට උපත දීලා නිකරුණේ දුක් විඳින්නෙක් බවට පත් කරන්න එපා.

මේ දශකය අමුතුම දශකයක්. ගෝලීය ආර්ථික අර්බුද, වෙනස් මතිමතාන්තර, ජීවිතවල පෙර නොවූ විරූ නව දැක්මවල්, විස්මයජනක තාක්ෂණය, සාමාන්‍ය මිනිස්සු අභිභවා සිය ජීවිතය කැපකර වාණිජමය හෝ උදාර අරමුණු කරා වේගයෙන් හඹා යන පුද්ගලයන් ආදීන්ගෙන් මේ දශකය පිරී තිබෙනවා.

විවාහය, පවුල, දරුවන් යන සංකල්ප අත්පත් කර ගැනීමට පුද්ගලයකුට බොහෝ කැපකිරීම් කිරීමට සිදු වෙනවා. ඒ හේතුව නිසාම බොහෝ අය විවාහ නොවන්න පුළුවන්, සිය මහලු මවුපියන් රැක බලා ගැනීම, ළාබාල සහෝදර, සහෝදරියන්ගේ වගකීම් පැවරී තිබීම, සිය රැකියාවේ ඉහළට යෑමට, උසස් අධ්‍යාපන කටයුතු වැනි විවිධ දේ හේතුවෙන් යම් අයෙක් විවාහ නොවීම මෙන්ම විවාහ වුවත් දරුවන් නොසෑදීම තව දුරටත් ලෝක අර්බුදයක් නොවේ.

සියල්ලන්ටම ආවේණික හේතු ඇති බවත්, බොහෝ මිනිසුන්ට පෞද්ගලික අරමුණු මෙන්ම තවත් වැදගත් රාජකාරි ඇති බවත් ඔබට මානසිකව වද වේදනා දෙමින් පෞද්ගලික කාරණා හාර අවුස්සන ඇත්තන්ට සහ ඇත්තියන්ට පහදා දීමට දෙපාරක් නොසිතන්න.

තාරිකා ද සිල්වා

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here