රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට තමා සහාය පළ කිරීම ‘අලියාගේ පිටේ’ නැඟීමක් නොවන බවත් එය පොහොට්ටුව හැර යෑමක් නොවන බවත් නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය හා ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග විශේෂ නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කරයි. තමාගේද අනුදැනුමින් මිනුවන්ගොඩ දේශපාලන බල මණ්ඩලය රහස් ඡන්දයක් පැවැත්වූයේ පොහොට්ටුව හැර යෑමට හෝ එක්සත් ජාතික පක්ෂයට එක්වීමේ සූදානමකට නොවන නමුත් පසුගිය සති අන්තයේ පුවත්පත් කිහිපයක් එවැනි පුවත් වාර්තාකර තිබූ බව රණතුංග මහතා තම නිවේදනයේ සඳහන් කර ඇත.
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ විවාදය හා ඡන්ද විමසීම ඔක්තෝබර් 6 හා 7 දෙදින පැවැත්වීමට මුලදී තීරණය කර තිබූ බැවින් තමා 21 හා 22 විදේශගත වීමට සැලසුම් කළ නමුත් පක්ෂ නායක තීරණය වෙනස් වූ නිසා තමාට සංශෝධනයේ ඡන්දයට සහභාගි වීමට නොහැකි වූ බව මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.
හෘද සාක්ෂියට එකඟව හැමවිටම නිවැරැදි දේශපාලන තීන්දු ගත් තමන් ජනමතයට හිස නමමින් අවශ්‍ය මොහොතේදී අවශ්‍ය දේශපාලන තීන්දුව ගැනීමට කිසිවිටෙකත් නොපැකිළෙන බවත් තමන් පිළිබඳ මෙතෙක් විශ්වාසය තැබූ ජනතාව කිසිසේත් පාවා නොදෙන බවත් එම නිවේදනයේ සඳහන් වේ.
තමාගේ විදේශගත වීම සිදු වූයේ ජනාධිපතිවරයාගේද අවසරය ඇතිව බැවින් 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන විවාදයේදී හිතාමතාම විදේශගත වූ බවට තමා වෙත එල්ල කරනු ලබන චෝදනා ප්‍රතික්ෂේප කරන බවද රණතුංග මහතා වැඩිදුරටත් කීය.
අනුරාධා හේරත්