Home Local News Room : ශ්‍රී  ලංකාව සුපිරි 12 වටයේ පළමු ජය ලබයි

News Room : ශ්‍රී  ලංකාව සුපිරි 12 වටයේ පළමු ජය ලබයි

1
0

සුදුසුකම් ලැබීමේ වටයේදී පළමු තරගයෙන්ම අමිහිරි පරාජයක් අත්කරගනිමින් ප්‍රධාන තරග වටය පිළිබඳව යම් අවිනිශ්චිත බවකට පත්ව සිටියද ඉන් අනතුරුව එක්සත් අරාබි එමීර් රාජ්‍යය හා නෙදර්ලන්තය පරාජය කරමින් ජයග්‍රාහී මාවතට අවතීර්ණ වූ ශ්‍රී ලංකා පිල ඊයේ (23දා) අයර්ලන්තයද පරාජය කරමින් ‘බී’ කාණ්ඩයේ ප්‍රසාද ලකුණු සටහනේ නවසීලන්තයට පසුපසින් ස්ථානගත විය.

වනිඳු හසරංග හා මහීෂ් තීක්‍ෂණ ප්‍රමුඛ ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගේ ග්‍රහණයට යටත්ව නියමිත පන්දුවාර 20 තුළදී අයර්ලන්තය කඩුලු 8කට ලැබූ ලකුණු 128ට පිළිතුරු සැපයූ ශ්‍රී ලංකා පිල එක් කඩුල්ලක් පමණක් අහිමි කර ගනිමින් කඩුලු 9ක දැවැන්ත ජයග්‍රහණයක් ලබාගැනීමට අවශ්‍ය මාර්ගය කුසල් මෙන්ඩිස් මෙවරත් සලසා දුන්නේය.

129ක පහසු කඩඉමක් පසුකර යෑමට පැමිණි කුසල් මෙන්ඩිස් හා ධනංජය සිල්වා අයර්ලන්ත පන්දු යවන්නන්ට කිසිදු අපහසුවකින් තොරවම ප්‍රහාරය දියත් කළේය.  10,000කට අධික ශ්‍රී ලාංකික ක්‍රීඩාලෝලීන්ගේ පැමිණීමට අගයක් ලබාදුන් මේ දෙදෙනා පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 63ක සබඳතාවක් එක්කරමින් ශ්‍රී ලංකාවේ ජයග්‍රාහී මාවත පහසු කළේය.

ලකුණු 31ක් ලබා සිටි ධනංජය පළමු කඩුල්ල ලෙස දැවී ගියද මෙන්ඩිස්ට එකතු වූ චරිත් අසලංක ජයග්‍රාහී ලකුණු ලබාගන්නා තෙක්ම තම කඩුලු ආරක්‍ෂා කරගත්තේ දෙවැනි කඩුල්ල වෙනුවෙන් නොබිඳුණු ලකුණු 70ක සබඳතාවක්ද එක්කරමිනි.

පන්දු 43කට මුහුණ දී හතරේ පහර 5ක් හා හයේ පහර 3ක් සමඟින් කුසල් මෙන්ඩිස් මෙම තරගාවලියේ දෙවැනි අර්ධ ශතකය මෙන්ම විස්සයි-20 දිවියේ ලකුණු 1000 සම්පූර්ණ කරද්දී ඔහුට අනගි සහායක් ලබා දුන් චරිත් අසලංක පන්දු 22කදී හතරේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 31ක් ලබාගත්තේය.

පිතිකරුවන්ට යෝග්‍ය හෝබාර්ත්හි බෙලරිව් ඕවල් පිටියේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදීමට අයර්ලන්ත නායක ඇන්ඩි බල්බ්රේනි තීරණය කළේය.

නායකයාගේ තීරණය පිළිබඳව යම් ප්‍රශ්නාර්ථයක් මතු කරමින් අයර්ලන්ත

පළමු කඩුල්ල ලෙස ඇන්ඩි බල්බ්රේන් ලකුණු 1ක ලබා සිටියදී ක්‍රීඩාගාරයට හරවා යැවීමට

ළහිරු කුමාර සමත්විය. ලකුණු 2ක් තිබියදී පළමු කඩුල්ල අහිමි වුවද පෝල් ස්ටර්ලින් සමඟ එක් වූ ලෝකන් ටකර් අයර්ලන්ත ලකුණු පුවරුවට ලකුණු 24ක මුක්කුවක් ගැසුවේය. එහෙත් ලකුණු 26ක් වනවිට දෙවැනි කඩුල්ල ලෙස ලකුණු 10ක් ලබා සිටි ටකර් දවාගත් තීක්‍ෂණ අයර්ලන්තය අමාරුවේ දැමීය.

ඉන් අනතුරුව එතෙක් හොඳින් පන්දුවට පහර දෙමින් සිටි ස්ටර්ලින් ලකුණු 35ක් ලබා සිටියදී දවාගැනීමට හසරංග සමත්වීමත් සමඟ අයර්ලන්ත ඉනිම අසරණ වන සෙයක් දක්නට ලැබිණි. ලකුණු 55කට තෙවැනි කඩුල්ල අයර්ලන්තයට අහිමි වෙද්දී එයට තවත් ලකුණු 5ක් එකතු වීමත් සමඟ අයර්ලන්ත සිවුවැනි කඩුල්ල දවාගත් කරුණාරත්න තරගයේ වාසිය ශ්‍රී ලංකාව දෙසට ඇද ගත්තේය.

කඩුලු 4ක් ලකුණු 60කට දැවී ගොස් තිබියදී ටැක්ටර්ට එකතු වූ ඩොක්රල් පස්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 47ක සබඳතාවක් එක්කරමින් අයර්ලන්ත ඉනිමට යම් ජීවයක් එක් කළේය. එහෙත් ඉන් අනතුරුව අයර්ලන්ත ඉනිමේ කඩා වැටීම ආරම්භ විය. කඩුලු 4කට ලකුණු 107ක් වූ අයර්ලන්ත ඉනිමට තවත් ලකුණු 21ක් එකතු වෙද්දී කඩුලු 4ක්ම ඔවුන්ගෙන් ගිලිහී යෑම තරගය ඔවුන්ගෙන් ගිලිහී යෑමට ප්‍රධාන වශයෙන්ම බලපෑවේය.  තීක්‍ෂණ හා හසරංග කඩුලු 2 බැගින් දවාගනිමින් අයර්ලන්තය විනාශ කිරීමට දායකත්වය සැපයූ ප්‍රධාන පන්දු යවන්නන් දෙපොළ බවට පත්වූහ.

මේ අතර මෙම තරගයේදීත් කඩුලු 2ක් දවාගත් වනිඳු හසරංග මෙම තරගාවලියේදී මෙතෙක් වැඩිම කඩුලුලාභියා බවට පත්වෙමින් මේ වනවිට කඩුලු 9ක් ඩැහැගැනීමට සමත්ව සිටි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here