Home Local News Room : මාස 8ට ළමා හිංසන පැමිණිලි 7,568ක්

News Room : මාස 8ට ළමා හිංසන පැමිණිලි 7,568ක්

0
0

සමාජ මාධ්‍යයේ පසුගිය දිනවල සංසරණය වූ සාමණේර හිමිවරුන් කිහිපදෙනකුට පහරදෙන අයුරු දැක්වෙන වීඩියෝ පටයෙහි සිටි හිමිනම අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට පමුණුවා ඇතැයි ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති උදය කුමාර අමරසිංහ ‘මව්බිම’ට පැවැසීය.

එමෙන්ම තෙල්දෙණිය ජාතික පාසලේ ගුරුවරයකු එහි ඉගෙනුම ලබන දරුවකුට පහරදීමේ සිද්ධිය පිළිබඳව ජාතික ළමා ආරක්ෂක අධිකාරියට නිසි පරිදි පැමිණිල්ලක් ලද හොත් ඒ පිළිබඳව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමේ හැකියාව පවතින බවද සභාපතිවරයා කීය.

එම සිද්ධියේදී පාසල් දරුවකුට පහරදීම දණ්ඩ නීති සංග්‍රහය අනුව අපරාධමය වරදක් සේ සැලකෙන නිසා එය සුළුකොට තැකිය නොහැකි බවද ඔහු පැවැසීය.

එවන් වරදක් සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට පාසලට බලයක් නැතැයිද පාසලට බලය ඇත්තේ ගුරුවරයාට එරෙහිව විනය පරීක්ෂණයක් පැවැත්වීමට පමණක් යැයිද හෙතෙම අවධාරණය කළේය. එම නිසා මේ සම්බන්ධයෙන් ළඟම පිහිටි පොලිස් ස්ථානයට හෝ ජාතික ළමා ආරක්ෂක අධිකාරියට පැමිණිල්ලක් කරන්නැයිද සභාපතිවරයා ඉල්ලිමක් කළේය.

එමෙන්ම මේ දිනවල සමාජ මාධ්‍ය තුළ සංසරණය වන ගිහි අයකු කුඩා සාමණේර හිමිවරුන් දෙදෙනකුට හිසට සහ මුහුණට පහර දෙන අයුරු දැක්වෙන වීඩියෝව මෑතකදී සිදුවූවක් නොව මින් බොහෝ කලකට පෙර සිදුවූවක් බවද අප කළ විමසීමකදී ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපතිවරයා පැවැසීය.

මේ සම්බන්ධයෙන් කරුණු සොයා බලා ඒ සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන ඇතැයි තමා කළ විමසීමකදී විමර්ශන අංශයේ නිලධාරීන් පැවැසූ බවද ඔහු කීය. බොහෝ විට අපරාධමය කරුණු සම්බන්ධයෙන් ඇතැම් පැමිණිලි ජාතික ළමාරක්ෂක අධිකාරියට නොලැබෙන බවත් ඒ පිළිබඳව විමර්ශනයක් කිරීමට තරම් ප්‍රමාණවත් කරුණු සහිතව ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ 1929 කෙටි දුරකථන අංකයට පැමිණිල්ලක් ගොනු කරන්නේ නම් ඒ සඳහා තම අධිකාරියට මැදිහත්වීමක් කළ හැකි බවත් ඔහු තවදුරටත් පැවැසීය.

මේ අතර මේ වසරේ ගතවූ මාස අටක කාලය තුළදී පමණක් ළමා හිංසන පිළිබඳ පැමිණිලි 7,568ක් වාර්තා වන බව ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති ජේ‍යෂ්ඨ කථිකාචාර්ය යූ.කේ. අමරසිංහ පවසයි.

දරුවන්ට පහරදීම්, ලිංගික හිංසන, ශ්‍රමිකයන් ලෙස දරුවන් යොදා ගැනීම හා දරුවන් යාචක සේවයේ යෙදවීම වැනි පැමිණිලි විශාල වශයෙන් ලැබී ඇති බවත් ඔහු පැවැසීය.

එසේම මේ වන විට දරුවන් 8,700කට අධික සංඛ්‍යාවක් පරිවාස භාරයේ සිටින බවත් විවිධ වූ ප්‍රශ්න හා ගැටලු හේතුවෙන් මෙලෙස දරුවන් පරිවාසගත කර ඇති බවත් හෙතෙම කීය.

ගම්පහ, අනුරාධපුර, කුරුණෑගල, මහනුවර, රත්නපුර හා මාතර දිස්ත්‍රික්කවලින් දරුවන් සම්බන්ධයෙන් විශාල පැමිණිලි සංඛ්‍යාවක් ලැබෙන බවත් අනෙක් ප්‍රදේශවලට සාපේක්ෂව එය ඉතා ඉහළ ප්‍රතිශතයක් බවත් ඔහු සඳහන් කළේය.

එසේම ළමා හිංසන සම්බන්ධයෙන් ජාතික ළමා ආරක්ෂණ අධිකාරියේ 1929 ක්ෂණික දුරකථන අංකය ඔස්සේ පැමිණිලි කිරීමේ හැකියාව පවතින බවත් ඔහු වැඩිදුරටත් පැවැසුවේය.

සවනි ශේශාධි, මිතුන් ජයවර්ධන  

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here