Home Local News Room : මවට පියාට එපා වූ දරුවා කැලණියේ නිවෙසක අපා දුක්...

News Room : මවට පියාට එපා වූ දරුවා කැලණියේ නිවෙසක අපා දුක් විඳලා

0
0

මවුපිය සෙනෙහස අහිමි වීම නිසා පාසල් අධ්‍යාපනයට අවහිරතා ඇති වී වසර හතරක් තිස්සේ කැලණිය හුණුපිටිය දිප්පිටිගොඩ ප්‍රදේශයේ නිවෙසක වද හිංසා පමුණුවමින් ළමා මෙහෙකාර සේවයේ යොදා සිටි 15 හැවිරිදි දරුවකු ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ හා පොලිසියේ මැදිහත් වීමෙන් ඉන් මුදාගෙන කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇත.

දරුවාගේ මව දෙවැනි විවාහයකට ඇතුළත් වූ පසු කුඩප්පා එම දරුවා තම රැකවරණය යටතේ තබා ගැනීම ප්‍රතික්ෂේප කිරීමෙන් පසු මිත්තණිය භාරයට පත් කිරීමෙන් අනතුරුව ඇය කැලණිය දිප්පිටිගොඩ පිහිටි මෙම නිවෙසේ හිමිකරුවන්ට දරුවා භාරදී තිබෙන බව පොලිසිය පැවැසීය.

දරුවාගේ නීත්‍යනුකූල මවුපියන් නීතියෙන් වෙන්වී ඇති අතර පියා විසින් දරුවාගේ වියදම් සඳහා මාසිකව රුපියල් 4,500 බැගින් නඩත්තු මුදලක් ලබාදී ඇති බව පොලිසිය සඳහන් කළේය.

මවගේ දෙවැනි සැමියා පෙර විවාහයේ දරුවා තමන් සමඟ එක වහලක් යට රඳවා ගැනීමට එකහෙළාම අකැමැති වී ඇති නිසා ඒ වනවිට හයවන වසරේ ඉගෙනුම ලබමින් සිටි මේ දරුවා තිස්සමහරාම ප්‍රදේශයේ පදිංචි ඇගේ වයෝවෘද්ධ මවගේ (ආච්චි අම්මාගේ) බාරයට මෙසේ පත් කර ඇතැයි අනාවරණය වේ.

එම දරුවාගේ නඩත්තුව සඳහා පියා විසින් මාසිකව ගෙවූ මුදල ගෙවීම දිගින් දිගටම පැහැර හැරීම නිසා වයෝවෘද්ධ මිත්තණියට දරුවා රැක බලා ගැනීම දුෂ්කර වී ඇතැයි පොලිස් විමසීම්වලදී හෙළිව ඇත.

කැලණිය හුණුපිටිය දිප්පිටිගොඩ ප්‍රදේශයේ නිවෙසක විසූ යුවළක් එම දරුවා හදා වඩා ගැනීම සඳහා  දරුවාගේ මවගෙන් කළ ඉල්ලීමකට අනුව ඇය විසින් මේ දරුවා ඔවුන් භාරයට පත්කර තිබේ.

ඒ මෙයට වසර හතරකට පමණ පෙරය. එවකට මේ දරුවා එකොළොස් හැවිරිදි වියේ පසුවී ඇත.

එම නිවෙසේ හිමිකරුවන් මේ දරුවා කැලණිය දලුගම ශාන්ත ප්‍රැන්සිස් විද්‍යාලයට ඇතුළත් කර තිබේ.

ඉකුත් සතියේ දින කිහිපයක්ම දරුවා පාසලට පැමිණ නොමැති අතර පසුගිය සිකුරාදා දිනයේදී ඔහු පාසලට පැමිණි අවස්ථාවේදී පන්ති භාර ගුරුතුමිය විසින් ඒ පිළිබඳව විමසා ඇත.

දරුවාගේ මුහුණේ කම්මුල් සහ නහය ප්‍රදේශයේ තැළීම් සහ තුවාල කැළල් කිහිපයක් පන්ති භාර ගුරුතුමියගේ ඇස ගැටී ඇති අතර ඒ පිළිබඳව විමසූ විට දරුවා එක එල්ලේ පිළිතුරක් ලබාදී නැත.

ඇය යළිත් ඒ පිළිබඳව විමසූ විට “නාන කාමරේ වැටුණා” යැයි දරුවා පවසා තිබේ.

මුහුණේ කම්මුල්වල තිබූ කැළැල් හා නහය ඉදිමී තිබීම බිම වැටීමෙන් නොව පහර දීමකින් සිදුවූවක් යැයි තරයේම ගුරුවරියට හැඟීගොස් ඇති නිසා ඇය දිගින් දිගටම ඉතා සුහද අයුරින් දරුවාගෙන් ඒ පිළිබඳව තොරතුරු විමසා ඇත.

වසර හතරක් තිස්සේ තමන් සිටින නිවෙසේ පිරිස තමන්ට දුන් වද හිංසා පිළිබඳව ඔහු විදුහල්පතිවරයා හා ගුරු මණ්ඩලය හමුවේ හඬාවැටෙමින් කරුණු හෙළි කර ඇත්තේ ඉන් පසුවය.

දරුවාගේ ප්‍රකාශයත් සමඟ වහාම ක්‍රියාත්මක වූ විදුහල්පතිවරයා ජාතික ළමා ආරක්ෂක අධිකාරියට ඒ පිළිබඳව තොරතුරු දැනුම්දී ඇත.

ඒ අනුව වහාම ක්‍රියාත්මක වූ එම අධිකාරියේ නිලධාරීන් ඒ මොහොතේම පාසල අයත් පොලිස් බල ප්‍රදේශය වන කිරිබත්ගොඩ සහ පෑලියගොඩ පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ නිලධාරීන් සමඟ පාසලට පැමිණ තිබේ.

එම පිරිස හමුවේ දරුවා තමන් විඳින වේදනා පිළිබඳව ප්‍රකාශ කොට ඇත.

“නැන්දා මට නිතරම නිකරුණේ පහර දෙනවා. ඒ ගෙදර ඔක්කොගෙම කිළුටු රෙදි, යට ඇඳුම් පවා හෝදන්නේ මම. එයාලා ටීවී බලනකල් මම එයාලගෙ කකුල් මසාජ් කරන්න ඕනේ. නැන්දා හැමදාම කියන්නේ මට වහබීලා මැරියන් කියලා. නැන්දා මට ගහන්නේ එස්ලෝන් බටවලින්. මගේ පිට හැමතැනම රිදෙනවා. දැනට දවස් හතරකට විතර කලින් නැන්දා මගේ නහය දෙක තුනට හයියෙන් ඇඹරුවා. මට ගොඩාක් රිදුණා.

ඒ වුණත් මට කරන්න කියපු ගෙදර වැඩ ඔක්කොම ටික කළා. එයාලා  බටලන්දේ කෑම්ප් එකට කෑම පාර්සල් දෙනවා. ඒවා පාර්සල් බඳින්න පවා මං උදවු කරන්න ඕනේ. දවස් තුනක් යනකන් මූණ හෝදන්න වත් බැරි තරමට නහය රිදුණා. දවස් තුනක් යනකම් ඉස්කෝලේ එන්න දුන්නෙම නෑ. අද මං එනකොට මූණෙ කැළල් ගැන ටීචර් ඇහුවොත් බාර්ත් රූම් එකේ වැටිලා තුවාල වුණා කියලා කියන්න කිව්වා. මගේ අත්, කකුල්, පිට ඔක්කොම නැන්දයි මාමයි ගහලා තුවාල වෙලා තියෙන්නේ. අනේ නැන්දගෙන් මාව බේර ගන්න” යැයි ඉකිබිඳ හඬමින් දරුවා පවසා තිබේ.

පාසලේදී මේ සිද්ධිය හෙළි වීමෙන් පසුව දරුවාගේ වැදූ මවට පාසලට පැමිණෙන ලෙස විදුහල්පතිවරයා දැනුම් දී ඇත.

එහිදී ඇගෙන් ඉල්ලා ඇත්තේ දරුවාගේ නීත්‍යනුකූල භාරකාරිය ලෙස දරුවාගේ වගකීම භාර ගන්නා ලෙසය.

එහෙත් ඇය ඒ සඳහා එකඟ වී නැත.

දරුවාගේ හිසේ සිට දෙපා දක්වා මුළු ශරීරයේම තැළුම් පහරවල් සහිත කැළැල් දක්නට ලැබුණු නිසා සහ දීර්ඝ කාලයක් තිස්සේ ශාරීරික හා මානසික වද හිංසාවලට ගොදුරුවී ඇති නිසා මේ වනවිට එම දරුවා වෛද්‍ය ප්‍රතිකාර සහ පරීක්ෂණ සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇත.

මේ වන විට දරුවා පොලිස් ආරක්ෂාව මත නේවාසික ප්‍රතිකාර ලබමින් පසුවේ.

වෛද්‍ය වාර්තාවලට අනුව සැකකරුවන්ට එරෙහිව ඉදිරි නීතිමය පියවර ගැනීමට නියමිතව ඇති බව පොලිසිය සඳහන් කළේය.

ජාතික ළමාරක්ෂණ අධිකාරිය, පෑලියගොඩ පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය, කැලණිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ළමාරක්ෂණ නිලධාරිනිය ඇතුළු පිරිසක් සිද්ධිය පිළිබඳව පරීක්ෂණ මෙහෙයවති.

සවනි ශේශාධි, කැලණිය – කුසුම් එස්. හැන්නදි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here