මහනුවර පොලිස් බලප්‍රදේශයට අයත් අම්පිටිය, වැවතැන්න, පොල්වත්ත ප්‍රදේශයේ නිවෙසක තනිවම සිටි කාන්තාවක් ඊයේ (20දා) අලුයම එම නිවෙස මංකොල්ලකෑමට පැමිණි පිරිසකගෙන් අසීරුවෙන් දිවි බේරාගෙන තිබේ.
සිරියා නානායක්කාර නමැති සිද්ධියට මුහුණ පෑ 64 හැවිරිදි කාන්තාව සඳහන් කරන්නේ, එදින අලුයම් කාලයේ නිවෙසට ඇතුළු වී ඇති මංකොල්ලකරුවන් පිරිසක් තමා අල්ලා කටට රෙදි පාන්කඩ ඔබා ගැටගසා පිහියක් ගෙලට තබා මරණීය තර්ජන කොට තමා ඝාතනය කිරීමට උත්සාහ කළ බවය.
මර බිය හේතුවෙන් තමා කිසිදු හැලහොල්මනක් නොමැතිව සිටි බැවින් ඔවුන් නිවෙසේ තිබුණු සියලුම වටිනා දෑ පැහැරගෙන පලා ගිය බවත් ඇය පවසයි.
නිවෙසේ තිබූ රත්රන් බඩු, මුදල්, ගෑස් ළිප, ගෑස් සිලින්ඩරය, රෙදි හෝදන මැෂිම මෙන්ම ඉතා වටිනා පෞරාණික භාණ්ඩ රැසක් මංකොල්ලකරුවන් රැගෙන ගිය බවද ඇය සඳහන් කරයි.
මහනුවර හා අවට ප්‍රදේශයන්හි නිවෙස් තුළ තනිවම සිටි කාන්තාවන් තිදෙනකු මංකොල්ලකරුවන් ඝාතනය කොට තිබූ අතර මෙම සිද්ධියට මුහුණ පෑ කාන්තාවගේ සියලු ඥාතීන් විදේශ ගතව සිටින අතර ඇය පමණක් තනිවම මෙම නිවෙසේ වාසය කොට ඇත.
අම්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවකු වන මහනුවර ගඟවටකෝරලය ප්‍රාදේශීය සභා මන්ත්‍රි චමින්ද සේනාරත්න සඳහන් කළේ, මේ වන විට අම්පිටිය ප්‍රදේශයේ නිවාස රැසක් බිඳ වටිනා දෑ සොරකම් කිරීම්, ත්‍රිරෝද රථ පැහැර ගැනීම්, දිවා කාලයේ මංකොල්ලකෑම් හා පහරදීම් විශාල වශයෙන් සිදුව ඇති බවය. මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහි වූ කණ්ඩායමක් විසින් මෙම සොරකම් සිදුකරන බවත් මේ සම්බන්ධයෙන් මහනුවර මූලස්ථාන පොලිසියට කොතෙක් පැමිණිලි කළද නිසි පියවරක් ගෙන නොමැති බවත් එබැවින් මෙම පවතින භයානක තත්ත්වය පිළිබඳව මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ. ගමගේ මහතා දැනුවත් කිරීමට පියවර ගත් බවය.
සිද්ධිය සම්බන්ධයෙන් මහනුවර මූලස්ථාන පොලිසිය පරීක්ෂණ පවත්වයි.
මහනුවර – කේ.එල්. සුරවීර