මහනුවර, හල්ඔළුව සීමාමාලය අසලින් දිය නෑම සඳහා මහවැලි ගඟට බසින ලද උසස් පෙළ සිසුන් දෙදෙනකු අතරින් එක් අයකු දියේ ගසාගෙන ගොස් අතුරුදන් වී ඇත.
අනෙක් සිසුවා ගඟ මැද ගලක් මත පැය තුනකට ආසන්න කාලයක් රැඳී සිටියදී මහනුවර ගිනි නිවීමේ ඒකකය, පොලිසිය හා යුද හමුදාව ඒකාබද්ධව කළ මෙහෙයුමකින් පසු බේරාගැනීමට සමත් විය.
මෙම සිසුන් දෙදෙනා ඊයේ (19දා) පස්වරු 3.00ට පමණ දිය නෑම සඳහා ගල් පර්වතවලින් ගහන හක්කිඳ දූපත් සමූහය ආසන්නයට ගොස් ඇත.
ගඟ මැදට ගිය අවස්ථාවේ මහවැලි ගඟේ ජල පහර හදිසියේම වැඩි වීම නිසා එක් සිසුවකු දියේ ගසාගෙන ගොස් ඇත. අනෙක් සිසුවා ගඟ මැද වූ ගලක් මතට නැඟ බේරී සිටියදී අවට පිරිස සිද්ධිය පොලිසියට දැනුම් දී තිබේ. ක්‍ෂණිකව ක්‍රියාත්මක වූ පොලිසිය, ගිනි නිවීම් ඒකකය හා යුද හමුදාව කිමිඳුම්කරුවන් පිරිසකගේ සහාය ලබා ගනිමින් කඹ ආධාරයෙන් අදාළ සිසුවා බේරාගැනීමට සමත්ව ඇත.
මහනුවර ගිනි නිවීම් ඒකකයේ දිනේෂ් හේරත් මහතා ඇතුළු කණ්ඩායමක් මෙහිදී දැඩි අවදානමක් ගෙන සිසුවාගේ දිවි බේරාගැනීමට කටයුතු කර තිබේ. දිවි බේරාගත් සිසුවා පිළිමතලාව දන්තුරේ ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව පොලිසිය පවසයි.
මහනුවර – කේ.එල්. සුරවීර