Home Local News Room : අහුන්ගල්ලේ සැබෑ වෙඩික්කරු අල්ලයි

News Room : අහුන්ගල්ලේ සැබෑ වෙඩික්කරු අල්ලයි

0
0


විදේශගතව සිටින පුද්ගලයකුගේ වුවමනාවකට රුපියල් ලක්ෂයකට අහුන්ගල්ල නගරයේ ත්‍රීවීලර් රියැදුරකු ඝාතනය කිරීමට පැමිණි ‘දන්කුඩ්ඩා’ නමැති වෙඩික්කරු හෝකන්දර සිංහපුර ප්‍රදේශයේ සැඟව සිටියදී අත්අඩංගුවට ගැනීමට බස්නාහිර දකුණ අපරාධ විමර්ශන කොට්ඨාසයට හැකි වී ඇත.

මෙම සැකකරු 2019 වසරේදී තලංගම පොලිස් වසමේ හෝකන්දර ප්‍රදේශයේ පදිංචි 74 හැවිරිදි කාන්තාවක් ගෙල සිරකර මරා දැමීමේ සිද්ධියේද ප්‍රධාන සැකකරු බවත් එම කොට්ඨාසය සඳහන් කරයි.

එම කොට්ඨාසයේ සැරයන් බස්නායක (38666) නමැත්තාට ලැබුණු තොරතුරක් මත සිංහපුර ප්‍රදේශයේ නිවෙසක් වටලා දැඩි පරිශ්‍රමයකින් පසු සැකකාර දන්කුඩ්ඩා කොටු කර ගැනීමට නිලධාරීන්ට හැකි විය.

සැකකරු යුද හමුදාවේ හිටපු ලාන්ස් කෝප්‍රල්වරයෙකි. 74 හැවිරිදි කාන්තාවක් ඝාතනය කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් 2019 වසරේද මොහු අත්අඩංගුවට ගෙන ඇත්තේ බස්නාහිර දකුණ අපරාධ විමර්ශන කොට්ඨාසය විසිනි.

පසුව රිමාන්ඩ් ගතවූ සැකකරු ඉකුත් 2021 වසරේ මාර්තු මස වසර එකහමාරකට පසු බන්ධනාගාරයෙන් ඇප මත නිදහස්ව පැමිණ ඇත.

එලෙස පැමිණ සිටි මොහොතේදී බන්ධනාගාරය තුළදී දැන හඳුනාගත් පුද්ගලයකුගේ මාර්ගයෙන් විදේශගතව සිටින අහුන්ගල්ල පදිංචි පුද්ගලයකු විසින් අහුන්ගල්ල ත්‍රීවීලර් රියැදුරකු ඝාතනය කිරීමේ කොන්ත්‍රාත්තුව ලබාදී තිබේ.

ඒ අනුව 12 වැනිදා උදෑසන මොහු ගාල්ල ප්‍රදේශයේ සිනමා ශාලාවක් වෙත ගොස් ඇති අතර එහිදී මෝටර් රථයක් පැමිණ ඔහුව ඊට නංවාගෙන ඇත.

පසුව රියැදුරා සමඟ සැකකරු අහුන්ගල්ලට එන අතරතුර කිසියම් තැනකදී සැකකරුට ටී පනස් හය ගිනි අවියක් ලබාදී ඇත.

ඉන් අනතුරුව අහුන්ගල්ල ප්‍රසිද්ධ සංචාරක හෝටලයක් අසල ඇති ත්‍රිරෝද රථ ගාලේ සිටින පුද්ගලයකු මොටෝ රිය පැදවූ රියැදුරා විසින් සැකකරුට පෙන්වා තිබේ.

ඒ අනුව ටී පනස් හය ගිනි අවියද අතැතිව මොටෝ රියෙන් බැස ත්‍රීවීලර් රියැදුරා අසලට ගිය සැකකරු ගිනි අවිය අමෝරා ඔහුට වෙඩි තබා ඇතත් තුවක්කු පත්තු වී නැත.

ඒ අතරතුර ත්‍රීවීලර් රියැදුරා දිවගොස් ඇති අතර ඔහු සමඟ සිටි ඔහුගේ සගයකු සැකකරු අත තිබූ තුවක්කුවේ එල්ලී ඇත.

දෙදෙනා අතර පොරබැදීමක්ද ඇති වී තිබූ අතර ඒ අතරතුරදී සැකකරු අත තිබූ තුවක්කුව බිමට වැටීමෙන් එකවරම වෙඩි ප්‍රහාරයක් නිකුත් වී තිබේ.

එක් උණ්ඩයක් සැකකරු සමඟ පොර බැදූ පුද්ගලයාගේ පාදයට වැදී ඇති අතර ඔහු කරාපිටිය රෝහලට ඇතුළු කර තිබිණි.

සැකකරු එම අවස්ථාවේ තුවක්කුව නැවත රැගෙන පැමිණි මොටෝ රියෙන්ම පලා ගොස් තිබේ.

පසුව අහංගම ප්‍රදේශයේ පාළු ප්‍රදේශයකදී සැකකරු මෝටර් රියෙන් බැස ඇත්තේ තුවක්කුව රථයේ රියැදුරා අතට ලබාදීමෙන් පසුවය. ඒ මොහොතේ රථයේ රියැදුරා සැකකරු වෙත රුපියල් ලක්ෂයක් ලබාදී තිබිණි.

සැකකාර හිටපු කෝප්‍රල්වරයා වෙඩි තැබීමට දන්නා අයකු වුවද ඔහුට ඉලක්කය වැරදී ගියේ මන් දැයි යන්න විමසීමේදී ඔහු නිලධාරීන්ට පවසා ඇත්තේ එම ගිනි අවිය තමා පාවිච්චි කළ එකක් නොවන නිසා එය වෙඩි තැබීමට කලින් නිවැරදි ලෙස ශුද්ධ පවිත්‍ර කර නැති බවය. ඒ නිසා එම අවස්ථාවේ ගිනි අවියෙන් උණ්ඩ නිකුත් නොවූ බවය.

සැකකරු අයිස් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවකු බවද පොලිසිය කියයි. සැකකරුට කොන්ත්‍රාත්තුව භාරදුන් බව කියන තැනැත්තාද පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ පොලිස් පරීක්ෂක රංගජීවට වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ වූවකු බව සිද්ධිය පිළිබඳ විමර්ශන පවත්වන ජේ‍යෂ්ඨ නිලධාරියෙක් කීය. කෙසේ වෙතත් අහුන්ගල්ල ප්‍රදේශයේ මෙම වෙඩි තැබීම සිදු කළ තුවක්කුකරු පොලිස් විශේෂ කාර්ය බළකාය මඟින් ඉකුත් 13 වැනිදා රාත්‍රි වෙඩි තබා මරා දැමූ බව පොලිස් විශේෂ කාර්ය බළකාය සඳහන් කර තිබිණි.

විශේෂ කාර්ය බළකාය පවසන්නේ 12 වැනිදා අහුන්ගල්ලේ සිදු කළ වෙඩිතැබීම කළ ඇඹිලිපිටිය ඉන්දික නමැත්තා පොලිස් විශේෂ කාර්ය බළකාය අතර ඇති වූ වෙඩි හුවමාරුවකදී එසේ මැරුම් කෑ බවය.

එහෙත් බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය අත්අඩංගුවට ගත් දන්කුඩ්ඩාගෙන් කළ ප්‍රශ්න කිරීමේදී ඔහු පවසා ඇත්තේ තමා එම ප්‍රහාරය එල්ල කළ බවය.

ඔහු වැඩිදුරටත් පවසන්නේ පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් වෙඩි තබා මරා දමා තිබුණේ සිද්ධිය වූදා තමා සමඟ ප්‍රහාරයට පැමිණි මොටෝ රිය පැදවූ තැනැත්තා බවය.

ප්‍රහාරයට යොදාගත් ටී පනස් හය ගිනි අවිය ඉකුත්දා සොයා ගැනුණු අතර එය තුවක්කුකරු වෙත ලබාදුන් කිලිනොච්චි හමුදා කඳවුරක මාණ්ඩලික සැරයන්වරයාද පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබිණි.

බස්නාහිර දකුණ විමර්ශන ඒකකය මඟින් අත්අඩංගුවට ගත් සැකකාර දන්කුඩ්ඩා රඳවා ගැනීමේ නියෝග මත ප්‍රශ්න කෙරෙනු ඇත.

බස්නාහිර පළාත භාර ජේ‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, බස්නාහිර දකුණ අපරාධ භාර නියෝජ්‍ය පොලිස්පති රොහාන් ප්‍රේමරත්න මහත්වරුන්ගේ අධීක්ෂණය මත බස්නාහිර දකුණ අපරාධ විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි ලලිත් අබේසේකර මහතාගේ උපදෙස් මත වැඩ බලන ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක මුණසිංහ, අංශ භාර ස්ථානාධිපති පොලිස් පරීක්ෂක හේමන්ත කුමාර, උප පොලිස් පරීක්ෂක අනුර, සැරයන් බස්නායක (38666), සුමන බණ්ඩාර (6956), කොස්තාපල්වරුන් වන තෙන්නකෝන් (70471), චානක (87699), පොලිස් රියැදුරු ප්‍රනාන්දු (20532) යන නිලධාරීහු සැකකරු අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමට එක්ව සිටියහ.

කීර්ති මෙන්ඩිස්

The post අහුන්ගල්ලේ සැබෑ වෙඩික්කරු අල්ලයි appeared first on මව්බිම.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here