Home Local News Room : අටමස්ථානාධිපති සිරිනිවාස නාහිමිපාණන්ගේ ආදාහන පූජෝත්සවය රාජ්‍ය අනුග්‍රහයෙන්

News Room : අටමස්ථානාධිපති සිරිනිවාස නාහිමිපාණන්ගේ ආදාහන පූජෝත්සවය රාජ්‍ය අනුග්‍රහයෙන්

1
0


අනුරාධපුර අටමස්ථානාධිපති ශ්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ උතුරු මධ්‍යම දෙදිසාවේ ප්‍රධාන සංඝනායක අතිපූජ්‍ය ආචාර්ය පල්ලේගම සිරිනිවාස නාහිමියෝ පෙරේදා (18දා) රාත්‍රි කොළඹ පෞද්ගලික රෝහලකදී අපවත් වූහ.

කලක් ගිලන්ව ප්‍රතිකාර ලැබූ උන්වහන්සේ අපවත්වන විට හැටනව වැනි වියෙහි පසුවූහ.

සිරිනිවාස නාහිමිපාණන්ගේ ආදාහන පූජෝත්සවය රාජ්‍ය අනුග්‍රහය ඇතිව පවත්වන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ උපදෙස් දී ඇත.

උන්වහන්සේගේ ශ්‍රී  දේහය පිළිබඳව ආදාහන පූජෝත්සවය එළැඹෙන සෙනසුරාදා අනුරාධපුරයේ මහාවිහාරීය ආදාහන මළුවේදී සිදුකරන බව රත්නමාලි චෛත්‍යරාමාධිපති, නුවර කලාවියේ ප්‍රධාන සංඝනායක ආචාර්ය පල්ලේගම හේමරත්න නාහිමියෝ පැවැසූහ.

බෝමළු විහාරයේදී ඊයේ (19දා) සවස රැස්වූ ආදාහන කමිටුව මෙම තීරණයට එළැඹි බවත් ඒ අනුව සෙනසුරාදා පස්වරු 2.30ට ආදාහන පූජෝත්සවය පැවැත්වෙන බවත් උන්වහන්සේ සඳහන් කළහ.

මහජනතාවට සිරිනිවාස හිමියන්ගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට ඊයේ සවස 7.00 සිට අවස්ථාව සැලසූ බවද උන්වහන්සේ වැඩිදුරටත් පැවැසූහ.

උතුරුමැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත් සහ බුද්ධශාසන හා සංස්කෘතික ඇමැති විදුර වික්‍රමනායක උන්වහන්සේගේ ආදාහන කටයුතු පිළිබඳ අවශ්‍ය පහසුකම් සැලසීම සඳහා ජනාධිපතිවරයා විසින් පත් කර ඇත.

උන්වහන්සේ බෝමළු පරම්පරාවේ දහ වැනි අටමස්ථානාධිපතීන් වහන්සේ වූහ. 1953 වර්ෂයේ ජනවාරි මස 02 වැනිදා මාතලේ දිස්ත්‍රික්කයේ වගපනහ පල්ලේසිය පත්තුවේ පල්ලේගම ග්‍රාමයේ උපත ලැබූ උන්වහන්සේ කරුණාසිංහ මුදියන්සේලාගේ ටිකිරි බණ්ඩා නිලමේතුමාගේත්, දුක්ගන්නා වලව්වේ අනුලා කුමාරිහාමිගේත් වැඩිමහල් පුත්‍රරත්නය වේ. කරුණාසිංහ මුදියන්සේලාගේ ජයතිලක නම් වූ මෙම කුමරුවා කැකිරාව කිතුල්හිටියාව රජයේ පාසලෙන් මූලික අධ්‍යාපනය ලැබුවේය.

ජයතිලක කුලකුමරු 1968 වර්ෂයේ මැයි මාසයේදී අනුරාධපුර ජය ශ්‍රී  මහා බෝමළුව විහාරස්ථානයේදී පැවිදි බිමට ඇතුළත්ව අනතුරුව අනුරාධපුර මහා විහාර පිරිවෙන, කොළඹ මාලිගාකන්ද විදේ‍යාදය මහ පිරිවෙනේ, සඳලංකාවේ ශාස්තේ‍රා්දය පිරිවෙන සහ හුණුපිටිය ගංගාරාමයේ ජිනරතන පිරිවෙනෙන්ද අධ්‍යාපනය ලැබූහ.

ඉන් පසු උන්වහන්සේ 1975 වර්ෂයේදී මල්වතු මහා විහාරයේදී උපසම්පදාව ලැබූහ.

අනතුරුව 1983 වර්ෂයේදී උසස් අධ්‍යාපනය සඳහා කැලණිය විශ්වවිද්‍යාලයට ඇතුළත්ව ශාස්ත්‍රවේදී උපාධිය ලබාගත් උන්වහන්සේ අධ්‍යාපන කටයුතු නිමාකොට ජය ශ්‍රී  මහා බෝමළුව විහාරස්ථානයට වැඩම කොට ටික කලක් එහි  වැඩිවිසීමෙන් පසුව මිරිසවැටි විහාරස්ථානය සහ අභයගිරි විහාරස්ථානයේ භාරකාරත්වය දැරූහ. ඉන් අනතුරුව උන්වහන්සේ 1995 ජුනි මස 1 වැනිදා රුවන්වැලි චෛත්‍යාරාමාධිකාරි වශයෙන් වැඩම කරවන ලදහ.

මේ අතරතුර අටමස්ථානාධිපතිව වැඩසිටි පූජ්‍ය පල්ලේගම ඤාණරතන නාහිමියන්ගේ අපවත්වීමෙන් පසු 1997 ජූලි මස 27 වැනි දින පැවැති අනුරාධපුර අටමස්ථාන කාරක සභාවේ ඒකච්ඡන්දයෙන් උන්වහන්සේ අටමස්ථානාධිපති වශයෙන් පත්වූහ.

අටමස්ථානාධිපති පදවියට පත්වීමෙන් පසු උන්වහන්සේ ජය ශ්‍රී  මහා බෝධිය ඇතුළු අටමස්ථානයේ වර්තමාන සංවර්ධනයේ නියමුවාණන් ලෙස සුවිශාල සේවාවක් ඉටු කළහ.

මේ අතර උන්වහන්සේගෙන් සිදු වූ ආගමික ශාසනික හා සමාජීය වශයෙන් සිදු වූ සේවාව අගයමින් මීට වසර පහළොවකට පමණ පෙර තායිලන්ත රජය මඟින් ආචාර්ය උපාධියක්ද පිරිනමනු ලැබිණි.

අනුරාධපුර _ පර්සි කුරුනේරු, මනුල වික්‍රම, හිදෝගම _ අමිල ප්‍රභාත්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here