Home Local බුකර් සම්මානයෙන් ලංකාවට ආඩම්බරයක් ගෙනා ගාල්ලේ ෂෙහාන් News Room

බුකර් සම්මානයෙන් ලංකාවට ආඩම්බරයක් ගෙනා ගාල්ලේ ෂෙහාන් News Room

0
0


ප්‍රබන්ධ කෘති සඳහා පිරිනැමෙන ඉහළ ජාත්‍යන්තර පිළිගැනීමක් සහිත බුකර් සම්මානය ශ්‍රී  ලාංකික ලේඛකයකු වන ෂෙහාන් කරුණාතිලක මහතාගේ The Seven Moons of Maali Almeida කෘතියට හිමිවිය.

මෙය වසර 30කට පසු බුකර් සම්මානය හිමිකරගැනීමේ ගෞරවය සඳහා ශ්‍රී  ලංකාවේ නාමය ඔසවා තැබුණු ජයග්‍රාහී අවස්ථාවක් ලෙස සැලකිය හැකිය.

බි්‍රතාන්‍යයේ කැමිලා පාකර් රැජිනගේ අතින් ෂෙහාන් කරුණාතිලක මහතා වෙත බුකර් සම්මානය සහ ඊට හිමි ත්‍යාග මුදල පෙරේදා ලන්ඩන් නගරයේ පැවැති උත්සවයකදී පිරිනැමිණි. ෂෙහාන් කරුණාතිලක වෙත මෙම සම්මානය සමඟ ඊට හිමි බි්‍රතාන්‍ය පවුම් 50,000 (ඇ.ඩො. 56,700)ක ත්‍යාගයක්ද හිමිවිය.

එම සම්මාන ප්‍රදානෝත්සවයේදී සිංහල බසින් කතා කරමින් ශ්‍රී  ලාංකික ජනතාව ඇමැතූ ෂෙහාන් කරුණාතිලක මහතා  රට පරාජයට පත්ව ඇති අවස්ථාවේදී මෙය දිනුමක් යැයි පැවැසීය.

‘මේ පොත මං ඔයගොල්ලන්ට ලිව්වේ. මේක දිනුමක්. රට පරාජයට පත්වෙලා ඉන්න වෙලාවක මේක දිනුමක්. ළඟදි අපි නැමීබියාවට පැරදුණා. කමක් නෑ. ලංකාවේ මිනිස්සු අද බොහෝ දුක් විඳිනවා. ඒ දුක් බිඳින්න මට ආයුධ නෑ. ඒත් මේ ජයග්‍රහණය අපි පිළිගනිමු’ යැයි ෂෙහාන් කරුණාතිලක එහිදී පැවැසීය.

එසේම ක්‍රිකට් ක්‍රීඩාව පිළිබඳව තවදුරටත් අවධානය යොමු කළ ඔහු ‘අපි කොහොම හරි ලෝක T-20 කුසලානය දිනාගනිමු. ඇයි බැරි’ යනුවෙන්ද පැවැසීය. ඔහු ඉංග්‍රීසි බසින් මෙන්ම දෙමළ බසින්ද කතා කළේය.

මෙවර බුකර් සම්මානය දිනාගනු ලැබූ ෂෙහාන් කරුණාතිලක විසින් රචිත The Seven Moons of Maali Almeida (ද සෙවන් මූන්ස් ඔෆ් මාලි අල්මේදා) නම් කෘතිය ශ්‍රී  ලංකාවේ යුද සමය හා බැඳුණු ප්‍රබන්ධ කතාවකි. යුද සමයේ මියගිය මාලි අල්මේදා නම් ඡායාරූප ශිල්පියකුගේ මරණින් මතු ජීවිතය ගැන ලියැවුණු මෙම කෘතිය කාලය ඉක්මවා ගෙනයන අබිරහස්වලින් හා ගැඹුරු මානුෂිකත්වයක් කැටි කරගත් කෘතියක් ලෙස බුකර් සම්මාන ප්‍රදාන මණ්ඩලයේ විනිසුරුවරුන්ගේ ප්‍රශංසාවට ලක්ව තිබේ.

ෂෙහාන් කරුණාතිලක Chinaman: The Legend of Pradeep Mathew නම් සිය කුලුඳුල් කෘතියෙන්ම ජාත්‍යන්තර ප්‍රසිද්ධියක් දිනාගත් ලේඛකයකි. එම කෘතියට 2008 වසරේදී ගේ‍ර්ෂන් ත්‍යාගයද, 2010 වසරේදී පොදු රාජ්‍ය මණ්ඩලයීය කෘති සඳහා වූ ත්‍යාගයද, 2012 වසරේදී දකුණු ආසියානු සාහිත්‍ය සඳහා පිදෙන DSC ත්‍යාගයද හිමිවිය.

ගාල්ලේ ඉපදී කොළඹ හැදී වැඩුණු ෂෙහාන් කරුණාතිලක ශාන්ත තෝමස් විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලැබූවෙකි. පසුව නවසීලන්තයේද අධ්‍යාපනය ලැබූ ඔහු ලන්ඩන්, ඇම්ස්ටර්ඩෑම් සහ සිංගප්පූරුවේ රැකියාවන්හි නිරත වී ඇත.

ලංකාවේ උපත ලද මයිකල් ඔන්ඩච්චි මීට පෙර 1992දී බුකර් සම්මානයෙන් පිදුම් ලැබුවේය.  ඒ වන විට ඔහු කැනේඩියානු පුරවැසියකුව සිටියදී ඔහුගේ ශ්‍රී  ලාංකේය සම්භවය හේතුවෙන් ශ්‍රී  ලංකාවටද එම අභිමානය හිමිවිය. මයිකල් ඔන්ඩච්චිට බුකර් සම්මානය හිමිවූයේ 1992දී ඔහු විසින් රචිත English Patient නම් කෘතියටයි.

1997 වසරේදී The God of Small Things කෘතිය වෙනුවෙන් ඉන්දියාවේ අරුන්දතී රෝයි ද 1981දී Midnight’s Children කෘතිය වෙනුවෙන් ඉන්දීය සම්භවයක් සහිත බි්‍රතාන්‍ය ඇමරිකානු නවකතාකරුවකු වන සල්මන් රැෂ්ඩි ද බුකර් සම්මානය දිනූ කීර්තිමත් ලේඛකයෝ අතර වෙති.

(විශේෂ ලිපියක් 10 වන පිටුවේ)

රු කාරියවසම්

The post බුකර් සම්මානයෙන් ලංකාවට ආඩම්බරයක් ගෙනා ගාල්ලේ ෂෙහාන් appeared first on මව්බිම.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here