පාරේ වැටී තිබුණු රුපියල් ලක්ෂයක් පමණ වටිනා රන් මාලයක් සහ රුපියල් 5,000ක් සහිත මුදල් පසුම්බියක් නිවසේ සුරතලයට ඇති කරන සුනඛයා විසින් රැගෙන එනු ලැබීමෙන් පසු නිවැසියන් විසින් එහි හිමිකරු සොයා මුදල් හා රන් මාලය භාර දීමේ අපූරු පුවතක් අලදෙණිය පොලිසියෙන් වාර්තා වෙයි.
හාරිස්පත්තුව, කුළුගම්මන, මහතැන්න ප්‍රදේශයේ නිවසක ඇති කරන “නිකී” නමැති සුනඛයෙකු පසුගිය 16 දින රාත්‍රියේ මෙම මුදල් පසුම්බිය නිවෙසට රැගෙන විත් ඇත.
මුදල් හා රන් මාලය හැරුණු විට හිමිකරු සොයා ගැනීම සඳහා අවශ්‍ය කිසිදු හැඳුනුම්පතක් හෝ ලියවිල්ලක් මුදල් පසුම්බියේ නොතිබීම නිසා හිමිකරු සොයා ගැනීම සඳහා නිවැසියන් මුහුණු පොතේ ඒ පිළිබඳ සටහනක් පළකර ඇත.
එම ගමට නුදුරු ගමේ පදිංචි කාන්තාවකගේ මුදල් පසුම්බිය නැති වී තිබෙන බවට පසුදින පෙරවරුවේ ගමපුරා තොරතුරක් පැතිර ගොස් තිබේ.
අලදෙණිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ගාමිණි සේනාරත්න මහතා ද කැඳවා ඔහු අතින් අදාළ කාන්තාවගේ ඥාතියෙකුට මුදල් පසුම්බිය භාර දීමට නිවැසියන් කටයුතු කර තිබේ.
“නිකී” නමැති සුනඛයා සපත්තු සෙරප්පු, සම්බෑග් ආදිය දුටුවිට රැගෙන විත් ඒවා සපාකන බව නිවැසියන් පවසන අතර පාරේ වැටී තිබුණු මෙම මුදල් පසුම්බිය ද 16 දින රාත්‍රි 7.00ට පමණ “නිකී” විසින් රැගෙන එනු ලැබ ඇත.
The post පාරේ වැටුණු රත්‍රන් මාලයයි මුදල් පසුම්බියයි සොයාදුන් බල්ලෙක් appeared first on මව්බිම.