Home Local කෝටිපති මැණික් ව්‍යාපාරිකයා Blackmail කළ සුරූපිනිය අත්අඩංගුවට News Room

කෝටිපති මැණික් ව්‍යාපාරිකයා Blackmail කළ සුරූපිනිය අත්අඩංගුවට News Room

1
0


බේරුවල කෝටිපති මැණික් ව්‍යාපාරිකයෙකු සමග ඉන්දියාවේ හෝටලයක අඹු – සැමියන් ලෙස හැසිරී එය වීඩියෝ කර ව්‍යාපාරිකයාගේ බිරියට සහ දරුවන්ට එම ලිංගික දර්ශන ඇතුළත් වීඩියෝ පටය යවන බවට තර්ජනය කරමින් රුපියල් ලක්ෂ 70ක කප්පමක් ඉල්ලූ 32 හැවිරිදි රූමත් කාන්තාවක කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය මගින් ඊයේ (ඔක්. 18) අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ, එම මැණික් ව්‍යාපාරිකයා කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයට කළ පැමිණිල්ලකට අනුව ය.

සැකකාරිය පොලිස් අත්අඩංගුවට ගෙන ඇත්තේ රුපියල් ලක්ෂ 10ක් ලබා දෙන බව පවසා මැණික් ව්‍යාපාරිකයා ලවා ම පොලිසිය ඇය බේරුවල නගරයට ගෙන්වා ගැනීමෙන් අනතුරුව ය. එම රුපියල් ලක්ෂ 10 ලබා ගැනීමට ඇය පැමිණ ඇත්තේ මෝටර් රථයකින් තවත් සහායකයෙකු ද සමග ය.

නිලධාරීන් දෙදෙනා ම අත්අඩංගුවට ගෙන ඇත.

පොලිසිය පවසන අන්දමට සිදුවීම මෙසේ ය.

52 හැවිරිදි කෝටිපති මැණික් ව්‍යාපාරිකයා මැණික් ව්‍යාපාරික කටයුතු සඳහා නිතර නිතර ඉන්දියාවට යන එන තැනැත්තෙකි. රූමත් කාන්තාව ද ඩොලර් රැගෙන ගොස් ඉන්දියාවෙහි රන් ආභරණ හා සාරි ඇඳුම් ආදිය මිල දී ගෙන මෙරටදී විකිණීම සිදු කිරීම සඳහා ඉන්දියාවට යන එන තැනැත්තියකි.

මෙම මස 12 වන දා ඇය ඉන්දියාවට ගිය අවස්ථාවකදී මෙම ව්‍යාපාරිකයා මුණගැසී ඇති අතර දෙදෙනා අතර ඉන් පසු ඇයිහොඳයිකමක් ඇති වී තිබේ.

පසුව පැමිණිලිකාර ව්‍යාපාරිකයා මෙම කාන්තාව නැවතී සිටින හෝටලයකට ගොස් ඇය සමග අඹු – සැමියන් සේ හැසිරී ඇති අතර ඇය එම අවස්ථාව ඇගේ ජංගම දුරකතනයෙන් වීඩියෝගත කර තිබේ.

පසුව සැකකාරිය මෙම මැණික් ව්‍යාපාරිකයාගේ විස්තර සියල්ල ද ලබා ගෙන ඇති අතර දෙදෙනා අතර අනියම් ඇසුරක් ද පවත්වාගෙන ගොස් තිබේ. ඉකුත් 14 වන දා මෙම දෙදෙනා ම මෙරටට පැමිණ ඇත.

ඉන් පසුව මෙම සැකකාරිය මැණික් ව්‍යාපාරිකයාට තර්ජනය කරමින් ඇය සමග අඹු – සැමියන් සේ හැසිරුණු වීඩියෝපට ව්‍යාපාරිකයාගේ බිරියට පෙන්වන බව කියමින් ලක්ෂ 70ක කප්පමක් ඉල්ලා තිබේ. මින් බියට පත් මැණික් ව්‍යාපාරිකයා ඇගේ ගිණුම් අංකය ඉල්ලා ඊට රුපියල් ලක්ෂ 10ක් බැර කර තිබේ.

එහෙත් එතැනින් නතර නොවූ සැකකාරිය දිගින් දිගට ම මැණික් ව්‍යාපාරිකයාට තර්ජනය කරමින් ඉතිරි ලක්ෂ 60 ඉල්ලන්නට පටන් ගෙන ඇත.

ඇයගේ මෙම තර්ජනයෙන් දැඩි ලෙස අපහසුතාවට පත් කෝටිපති ව්‍යාපාරිකයා කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති සනත් කුමාර මහතාට මේ බව පැමිණිලි කර තිබේ.

පසුව ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කළ ස්ථානාධිපතිවරයා පැමිණිලිකරු ලවා ඇයට දුරකතන ඇමතුමක් ලබා දී එකවර රුපියල් ලක්ෂ 60ක් දීමට නොහැකි බව පවසා දැනට රුපියල් ලක්ෂ 10ක් දීමට කැමති බවත් එය ගැනීමට බේරුවල නගරයට පැමිණෙන ලෙස පවසා තිබේ.

ඒ අනුව, පොලිස් කණ්ඩායමක් පැමිණිලිකරු සමග බේරුවල නගරයට යැවූ ස්ථානාධිපතිවරයා සැකකාර කාන්තාව ව්‍යාපාරිකයාගෙන් මුදල් ලබා ගැනීමට බේරුවල නගරයට පැමිණ ව්‍යාපාරිකයා අසලට පැමිණීමත් සමග සිවිල් ඇඳුම්වලින් සැරසී සිටි නිලධාරීන් ඇය අත්අඩංගුවට ගෙන තිබේ.

හයිබ්‍රිඩ් වර්ගයේ මෝටර් රථයකින් තවත් පුද්ගලයෙකු සමග ඇය පැමිණි අතර ඔහුව ද නිලධාරීන් කොටු කරගෙන තිබේ.

සැකකාරිය දෙදරු මවක බව ත් ඇය ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පදිංචිකාරියක බව ත් පොලිසිය කියයි. සැකකරු වත්තල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. සැකකාරියගේ සැමියා ත්‍රීවීලර් රියැදුරකු බව ත් සඳහන් ය.

සැකකාරිය පැමිණි මොටෝරිය ද පොලිස් භාරයට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකාරිය සහ අනෙක් පුද්ගලයා කළුතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ලබන නොවැම්බර් මස 1 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.

කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සනත් කුමාර මහතාගේ මෙහෙයවීම මත උපපොලිස් පරීක්ෂකවරුන් වීරසේන සහ ජයන්ත සැරයන් (11700), කොස්තාපල්වරුන් වූ ගුණවර්ධන (85848), උපුල් (45627), ඉහළගේ (24054), කාන්තා කොස්තාපල් දිව්‍යාංජලී (11287) හා පොලිස් රියැදුරු තාරක (15307) යන නිලධාරීහු මෙම වැටලීමට එක්ව සිටියහ.

  • කීර්ති මෙන්ඩිස්, පොතුපිටිය – සුමිත් රණවක

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here