2022 යල කන්නයේ දී රජය විසින් වී වගාවට දුන් පොහොර යුරියා පොහොර වසර 15කට පසු වී වගාව සඳහා ලැබුනු හොඳම පොහොර බව ගොවි නියෝජිතයෝ පැවසූහ.
ගොවි නියෝජිතයින් පිරිසක් මහ කන්නය සඳහා රජය විසින් වගාවට අවශ්‍ය පොහොර ලබා දීම සම්බන්ධව කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී පැවැති සාකච්ඡාවක දී ගොවි නියෝජිතයෝ මෙම අදහස් පළ කළහ.
මෙම සාකච්ඡාව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැතිනි. එහි දී මහ කන්නයේ දී වගාව සඳහා අවශ්‍ය රසායනික පොහොර ලබා දීම සම්බන්ධව ගොවි නියෝජිතයෝ අමාත්‍යවරයාගෙන් කරුණු විමසූහ.
එහිදී අදහස් පළ කළ අමාත්‍යවරයා මෙවර මහ කන්නයට වී හා බඩඉරිගු වගාවන් සඳහා යුරියා පොහොර ලබා දීමට කටයුතු යොදා ඇති බවත්, මුල්වටය සඳහා අවශ්‍ය පොහොර තොග දැනටමත් සියලු ගොවිජන සේවා මධ්‍යස්ථාන වෙත ලබා දී ඇති බවත් සඳහන් කළේය. ඉන්දීය රජය විසින් ණය යෝජනා ක්‍රමයක් යටතේ මෙරටට ලබා දුන් යුරියා පොහොර මෙට්‍රික් ටොන් 65,000න් තවත් යුරියා පොහොර මෙට්‍රික් ටොන් 34,000ක් ඉතිරිව ඇති බවත් ඒවා මහ කන්නයේ වී වගාව සඳහා මුල් වටයට යෙදීමට නිකුත් කර ඇති බව ද කීය.
එමෙන්ම පසුගිය යල කන්නයේ දී ලබාදුන් යුරියා පොහොර සම්බන්ධව ගොවි ජනතාවගේ අදහස් කුමක්දැයි අමාත්‍යවරයා විමසා සිටියේය.
යල කන්නයේ දී ලබා දුන් යුරියා පොහොර වසර 15කට පසු රජයක් විසින් ලබා දුන් හොඳම පොහොර බව ගොවි නියෝජිතයෝ ප්‍රකාශ කළහ. එම පොහොර යෙදීම හේතුවෙන් වී අස්වනු ඉහළ ගිය බවත්, කවුරු තුමක් ප්‍රකාශ කළත් මෙවර යළ කන්නයේ වී අස්වනු අපේක්ෂිත මට්ටමට වඩා ඉහළ ගොස් ඇති බවත් ඔවුහු ප්‍රකාශ කළෝය.
මෙවර මහ කන්නයේ දී ද ගුණාත්මකභාවයෙන් උසස් පොහොර ලබා දීමට කටයුතු යොදා ඇතැයි ද අමාත්‍යවරයා සඳහන් කළේය.